ලිංගිකය ඉක්මවා යැම" යනුවෙන් නිශ්චිතව අදහස් කරන්නේ කුමක්ද?
ලිංගිකය ඉතාම සියුම් මාතෘකාවක්. ඉතාම පරිස්සමින් මැදිහත් විය යුත්තක්, මොකද ශත වර්ෂ ගණනාවක් තිස්සේ සිදුවු සූරාකෑම, දූෂණය, ශතවර්ෂ ගණනාවක් තිස්සේ නරුම බවට පත් කළා වු අදහස් තත්ත්වාරෝපිත කිරීම් යනාදි සියල්ල මේ "ලිංගිකය" කියන වචනය සමග සම්බන්ධව තිබෙන නිසා.
ඒ වචනයට ඉතාම බර පටවල. පවතින වචනවලින් වැඩියෙන්ම බර පටවපු වචනවලින් එකක් ඒක. ඔබ කීවොත් "දෙවියනි" ඒක පේන්නේ හරිම හිස් වචනයක් වගේ. ඔබ කීවොත් ලිංගිකය කියල. ඒක හරිම බරපතළ වගෙයි පේන්නේ.
මනසේ දහසකුත් එකක් දේවල් නැගෙනවා. භය, විකෘතියක් නරුමතා, ආකර්ෂණයන්, අති දැවැන්ත අනුරාගයක්, අති දැවැන්ත ප්රමාණයක අනුරාග විරෝධයක් පවා ඇතිවෙන්න පුළුවන්. මේ සියල්ලම එකට නැගෙනවා ලිංගිකය.... යන වචනය ව්යාකූලත්වයක් අරාජිකත්වයක් නිර්මාණය කරනවා. ඒක හරියට නිශ්චල ජලාශයකට කවුදො ගල් කැබැලිත්තක් දැම්මා වගෙයි. ලක්ෂ සංඛ්යාත ජල තරංග නැගෙනවා. ලිංගිකය කියන එක වචනෙට ඉතාම වැරැදි අදහස්වලට යටත්ව මනුෂ්යත්වය ජීවත්ව තිබෙනවා.
එම නිසා පළමු දේ ලිංගිකය ඉක්මවා යන්නේ කෙසේද යන ප්රශ්නය ඔබ නගන්නේ ඇයි? පළමුකොටම ලිංගිකය ඉක්මවා යන්න ඔබට අවශ්ය වුණේ ඇයි? ඔබ "ඉක්මවා යැම" කියන ලස්සන වචනයක් යොදාගෙන තිබෙනවා. නමුත් ඔය එයින් සීයෙට අනූනවයක්ම අදහස් කරන්න ඉඩ තිබෙන්නෙ ලිංගිකය මර්දනය කරන්නේ කෙසේද යන්නයි.
ලිංගිකය ඉක්මවා යා යුතුයි යන අවබෝධය ඇති තැනැත්තා පවා එය ඉක්මවා යැමට කරදර වෙන්නේ නෑ. මොකද ඉක්මවා යැමට නම් අත්දැකීම් පසුකරගෙන යා යුතුයි. එවිට ඒ අත්දැකීම් ඔබව වඩා පැසුණු පුද්ගලයන් බවට පත් කරාවි.
එක්තරා වයස් සීමාවකදී ලිංගිකය ඉතාම වැදගත්කමක් ලබා ගන්නවා ඔබ දැකලා තිබෙනවාද? ඔබ එය වැදගත් බවට පත් කරනවා නොවෙයි. ඔබ එය සිදුවන්නට සලස්වන දෙයකුත් නෙමෙයි. එය සිදුවන දෙයක්. වයස අවුරුදු දහ හතරේදී ඒ වයසට කිට්ටු උණහම වාගේ එක්වරම ශක්තිය ලිංගිකයෙන් පිරී ඉතිරී යනවා. ඒක හරියට ඔබ තුළ ඇති වාන් දොරටු විවෘත කරලා වගෙයි සිදුවන්නෙ. මෙතෙක් විවෘතව නොතිබුණු ඉතාම සියුම් ශක්තිය ලිංගිකයි. ලිංගිකය වර්ණයෙන් යුක්ත වෙනවා. ඔබ හිතන්නේ, ඔබ ගයන්නේ, ඔබ ඇවිදින්නේ ඔබේ හැම දෙයක්ම ලිංගික වෙනවා. සෑම ක්රියාවක්ම වර්ණවත් වෙනවා. ඔබ ඒ ගැන යමක් කළා නොවෙයි. මේක සිදු වෙනවා. ඒක ස්වාභාවිකයි. ඉක්මවා යැමත් ස්වාභාවිකයි.

ලිංගිකය හෙළා දැකීමකින් තොරව, එය පලවා හරින හැඟීමකින් තොරව, එය සම්පූර්ණයෙන් භූක්ති විඳි තිබේ නම්, හරියට වයස 14 දී ලිංගිකය බල ශක්තියක් ලෙස උතුරා ගියා සේ වයස හතළිස් දෙකේ දී නැතිනම් ඒ ආසන්නයේදී ලිංගික වාන් දොරටු නැවත වැසී යනවා. ලිංගිකය සජීවී වෙනවා වාගේම එයත් ඉතාම ස්වාභාවිකයි. එය අභාවයට යැම ආරම්භ වෙනවා.
ලිංගිකය ඉක්මවා යන්නේ ඔබේ යම් උත්සාහයක ප්රතිඵල වශයෙන් නෙමෙයි. ඔබ උත්සාහයක් කර තිබුණා නම් එය මර්දනකාරී වෙනවා. මොකද ඒකට ඔබ සමග කරන්න දෙයක් නැති නිසා. ඔබ ඔබගේ ශරීරයේ අභ්යන්තර ව්යුහයට සම්බන්ධයි. ඒකේ කිසිම වරදක් නෑ. ඒකයි ඉපදෙන්න ඇති එකම ක්රමය. මානුෂික වීමට ලිංගික වෙන්න ඕනේ. ඔබ පිළිසිඳ ගනිද්දී ඔබේ මව සහ පියා යාඥ කරමින් හිටියේ නෑ. පූජකයකුගේ දේශනයකට සවන් දෙමින් සිටියත් නෙවෙයි.
ඒ අය පල්ලියක දේවස්ථානයක සිටියෙත් නෑ. ඒ අය මෛථුන සේවනයේ, රමණයේ යෙදී සිටියා යන්න හිතන්නත් අමාරුයි වගේ. ඔවුන් සිටියේ රමණයේ යෙදෙමින්, ඔවුන්ගේ ලිංගික ශක්තීන් එකින් එකා මුණ ගැසිලා සම්මිශ්ර වෙමින් තිබුණෙ. එවිටයි ඔබ පිළිසිඳ ගත්තේ. ගැඹුරු ලිංගික ක්රියාවකින් ඔබ පිළිසිඳ ගත්තා. පළමුවැනි ශෛලය ලිංගික ශෛලයක්, ඒ ශෛලයෙන් අනෙකුත් ශෛල හට ගත්තා. නමුත් හැම ශෛලයක්ම මූලිකවම ලිංගිකයි. ඔබේ සම්පූර්ණ සිරුරම ලිංගිකයි. ඔබව සැදී තිබෙන්නේ ලිංගික ශෛල දශ ලක්ෂ ගණන්වලින්.
ඔබ පවතින්නේ ලිංගික සත්වයෙක් හැටියට බව මතක තබා ගන්න. ඔබ වරක් පිළිගත්තොත් ශත වර්ෂ ගණනාවක් තිස්සේ ගොඩනඟා තිබෙන ප්රතිවිරෝදය වියෑකී යනවා. අනං මනංවලින් තොරව එය ඔබ ගැඹුරින් පිළිගත්තොත් ඔබට ලිංගිකය සාමාන්ය සොබාවික දෙයක් වෙනවා. ඔබ එහි ජීවත් වෙනවා. ඔබ මගෙන් අහන්නෙ නෑ කෑම ඉක්මවා යන්නේ කොහොමද? හුස්ම ගැනීම ඉක්මවා යන්නේ කොහොමද කියලා. මොකද කිසිම ආගමක් හුස්ම ගැනීම ඉක්මවා යන්න උගන්වන්නේ නෑ. එහෙම නොවෙන්න ඔබ මගෙන් අහවි හුස්ම ගැනීම ඉක්මවා යන්නේ කොහොමද කියලා. ඔබ හොඳට හුස්ම ගන්න, ඔබ හුස්ම ගන්න සතෙක්, ඒ වාගේම ඔබ ලිංගිකයි.
දරුවෙක් උපදිනව බලා සිටින්න... වහාම තත්ත්පර තුනකින් දරුවා හුස්ම ගන්න ඕනේ. එහෙම නොවුණොත් දරුවා මිය යනවා. දරුවා ජීවිත කාලය පුරාම හුස්ම ගැනීම කරන්න ඕනේ. මොකද ඒක ඉක්මවා යන්න එයාට බැහැ. සමහර විට ඔබ මිය යන්න පෙර හුදෙක් තත්ත්පර තුනක් පමණ හුස්ම ගැනීම නවතීවි. ඊට පෙරාතුව නොවෙයි. හැම විටකම මතක තබා ගන්න ජීවිතය ආරම්භයේදී සහ අවසානයේදී නිශ්චිතවම එක වගෙයි, හොඳින් එකින් එක ගැළපෙනවා. දරුවකු උපදිනවා. ඔහු තත්පර තුනකින් හුස්ම ගැනීම නවත්වන මොහොතේ තත්ත්පර තුනක් ඇතුළත ඔහු මිය යනවා.
ලිංගිකය ජීවිතයට ඇතුළු වෙන්නෙ බෙහෝම ප්රමාද වෙලා. වසර 14 ක්ම දරුව ජීවත් වෙන්නේ ලිංගිකයකින් තොරවයි. සමාජය ප්රමාණය ඉක්මවා මර්දනකාරී නොවේ නම්, ලිංගිකය මහත් චිත්ත පීඩාවක් කොට නොගන්නව නම්, දරුවකුට සම්පූර්ණයෙන් අනවධානයෙන් ජීවත් වෙන්න පුළුවන්. දරුවාට නිසැකයෙන්ම නිර්දොෂියෙක් ලෙස පවතින්න පුළුවන්. ඒ නිර්දොෂීභාවයටත් අවකාශයක් නෑ. මොකද මිනිසුන් ඒ තරමටම මර්දනකාරී, මර්දනය සිදුවන විට ඊට යාබදව චිත්ත පීඩාවක් සිදු වෙනවා.
ලිංගිකය හරිම ලස්සනයි. ලිංගිකය ඒ තුළම ඇති සොභාවික රිද්මයක් සහිත ප්රපංචයක්. දරුවෙක් පිළිසිඳ ගන්නට සූදානම් වූ විට එය සිදු වෙනවා. ඒක එසේ සිදුවීම හොඳයි. නැතිනම් ජීවිතය පවතින්න බැරිවෙයි. ජීවිතය පවතින්නේ ලිංගිකයෙක් ලිංගික රමණය එහි මාධ්යයි. ඔබ ජීවිතය අවබෝධ කරගන්නවා නම්, ඔබ ජීවිතයට ආදරය කරනවා නම්, ලිංගිකය දිව්යමය දෙයක්. පූජනීය දෙයක් බව ඔබ දැනගනීවි. එවිට ඔබ එහි ජීවත් වෙනවා. එවිට ඔබ එයින් පරම ප්රමෝදයට පත්වෙනවා. ස්වභාවිකව එය පැමිණියා සේම එය විසින්ම යන්න යාවි වයස අවුරුදු 14 දී හෝ ඊට ආසන්නයේ දී ඔබේ පැවත්මට එය සොභාවිකව ඇතුළු වූවක් මෙන්ම එය පහව යාවි. එහෙත් ඒක එහෙම ම වෙන්නෙ නෑ.

මං වයස අවුරුදු හතළිස් දෙකේ පමණ කියද්දී ඔබ මවිතයට පත්වෙන්න පුළුවන්. ඔබ දන්නවා සමහරු හැත්තෑවයි අසූවයි. එහෙත් ඉක්මවා ගිහිං නෑ. ඔබ දන්නවා කැත මහලු මිනිසුන් ඉන්නව. ඔවුන් මේ සමාජයේ ගොදුරු බවට පත්වුණු අය. ඔවුන්ට ස්වභාවික වෙන්න බැරි වුණා. බුක්ති විඳිය යුතු සමයේ එය මර්දනය කළා. ඔවුන් ප්රමෝදයට පත් මොහොතක ඔවුන් ඒ තුළ සම්පූර්ණයෙන් ගැලී සිටියේ නැ.
ඔවුන්ට සුරතාන්තයක් නොවෙයි ලැබුණේ, අඩ සිතක්.
කෙසේ වෙතත් ඕනෑම දෙයක් කරද්දී ඔබ අඩ හිතකින් නම් සිටින්නේ ඉතිරි අර්ධය ඔබ පසුපස ඇදී එනවා. ඔබ මේසය අසල වාඩිවී ආහාර ගනිද්දී ඔබ සිටින්නේ අඩ සිතකින් නම් ඔබේ කුසගින්න ඉතිරි වේවි. එවිට ඔබ නොකඩවා ම දවස පුරාම ආහාර ගැන මෙනෙහි කරාවි. ඔබ උපවාසයේ සිටියොත් ඔබට පෙනේවි ඔබ දිගටම ආහාර ගැන සිතන බව. එහෙත් ඔබ හොඳින් ආහාර අනුභව කළා යෑයි කියද්දී මං අදහස් කරන්නේ ඔබේ බඩට ආහාර පැටවීම එහෙම නොවෙයි, එහෙම නම් එය අත්යවශයෙන්ම හොඳ ආහාර ගැනීමක් නොවේ. ඔබ බඩ පුරවලා පටවන්න ඇති. නමුත් හොඳ ආහාරයක් අනුභව කරනවා කියන්නේ කලාවක්. ඒක ඔහේ අඩුක්කු කරනවා වගේ වැඩක් නෙමෙයි. ඔය විශිෂ්ට කලාවක්. ආහාර සුවඳ රස විඳීම, රස බැලීම, ආහාර ස්පර්ෂය, ආහාර හොඳින් හැපීම, ආහාර දිරවීම, ඒවා දිරවීම ම දිව්යමයයි. ඒක දේව දීමනාවක්.
සතුනුත් කනවා, මිනිසුනුත් කනවා, ඉතින් මොනව ද ඇති වෙනස? මිනිහා ආහාර අනුභවයේදී විශාල සෞන්දර්යාත්මක අත්දැකීමක් ලබනවා. ඉතාම ලස්සනට සැරසූ ආහාර මේසයක ඇති තේරුමක් ඇද්ද? එහි ඉටි පහන්, සුවඳ දුම් දල්වන්නේ ඇයි? හිත මිතුරන්ට ආහාර මේසයට ආරාධනා කිරීමේ අරුතක් තිබෙනවාද? එහෙම කරන්නේ කුසට ආහාර අඩුක් කිරීමට නොවෙයි. එය කලාත්මක සංසිද්ධියක් කරගන්නයි. නමුත් මේවා කලාවේ බාහිර ලකුණු. අභ්යන්තර ලකුණු නම් ශරීරයේ භාෂාව වටහා ගැනීම, ඊට සවන් දී එහි වුවමනාවන් වටහා ගැනීම, ඊට පසු ඔබ ආහර ගන්න, එතැන් සිට මුළු දවස පුරාම ඔබට ආහාර මතකයට එන එකක් නෑ. ඔබේ සිරුරට කුසගිනි දැනුණහම පමණක් ඔබට ආහාර මතක් වෙයි. එවිට එය සොභාවිකයි.
ලිංගිකය සිදුවන්නෙත් ඔය ආකාරයටමයි. ඔබ ලිංගික විරෝධයක් නැති නම් ඔබ එය සොභාවික දෙයක් ලෙස දිව්යමය දීමනාවක් ලෙස ගැඹුරු කෘතඥතාවකින් යුතුව බාර ගන්න. ඔබට එයින් ප්රීතියට පත්වෙනවා. යාඥවක් සමග ඔබ ප්රමෝදයට පත් වෙනවා.
තන්ත්ර මෙහෙම කියනවා. ඔබ ගැහැනියක හෝ මිනිසකු සමග මෛථුනයේ යෙදෙන්න පෙර පළමුව යාඥවේ යෙදෙන්න... මොකද එය ශක්තීන්ගේ දිව්යමය හමුවීමක් වන නිසා. දෙවියන් ඔබ වටකර ගනීවි. ප්රේමවන්තයන් සිටින කොතැනක හෝ මුණ ගැසෙනවද එකින් එකා සමග මිශ්රව හැසිරෙනවාද එතැනයි ජීවිතය විශිෂ්ටතම ආකාරයෙන් සජීවී වන්නේ. දෙවියන් ඔබ වටකර ගන්නවා. පල්ලි හිස් වෙනවා. ආදර කුටි දෙවියන්ගෙන් පිරී යනවා. ඔබ තන්ත්ර කියන ආකාරයට ආදරය භුක්ති විඳ ඇත්නම් එවිට අවුරුදු හතළිස් දෙකේ දී ලිංගිකය තමන්ම පහවීම ආරම්භ වෙනවා. ඔබ ඊට සුබ ගමන් ප්රාර්ථනා කරන්නේ ගැඹුරු කෘතඥතවක් සමගයි. මොකද ඔබව ආදරයෙන් පරිපූර්ණ කරපු නිසා. එය ප්රමෝදයෙන් යුතු ආශිර්වාදයක් වුණා. ඔබ ඊට සුබ ගමන් ප්රාර්ථනා කරනවා.

භාවනාවට නිසි වයස තමයි හතළිස් දෙක. ලිංගිකය පහව යනවා. උතුරා යන එම ශක්තිය තව දුරටත් එතැන නැහැ. පුද්ගලයා ශාන්ත බවට පත්වෙනවා. ලිංගික කාමාශාව සිඳී ගොස් නිරාශාව දයාව වටහගන්නවා. දැන් කෙනෙක් තුළ අනිකා ගැන කාමුක ආදර උනන්දුවක් ඇති කරන උණුසුම් හැඟීම් තවදුරටත් ඇත්තේ නෑ. ලිංගිකය අතුරුදන් වීමත් සමගම අනිකා ප්රභවය වෙතට ආපසු ගමන් කරනවා... ආපසු ගමන් ඇරඹෙනවා.
ලිංගිකත්වය ඉක්මවා යන්නේ ඔබගේ ප්රයත්නයක් තුළින් නොවෙයි. ඔබ ලිංගිකය තුළ පුර්ණ ජීවිතයක් ගත කළා නම් එය සිදු වෙනවා. ඒ නිසා මගේ යෝජනාව වෙන්නේ ලිංගිකය ගැන ඇති විරෝධාකල්පය, ජීවිතය ගැන ඇති විරෝධාකල්ප අත් හැර යථාර්ථය පිළිගන්න. ඔබ කවුද ලිංගිකය අත්හරින්න...? කවුද එය අත්හරින්න උත්සාහ කරන්නේ...? ඒ හුදෙක් අහංකාරයමයි. අහංකාරත්වයට විශාලතම ගැටලු සාදන්නේ ලිංගිකය බව මතක තබා ගන්න.
එම නිසා දෙවර්ගයක මිනිස්සු සිටිනවා. අහංකාර උද්දච්ච මිනිස්සු හැම විටම ලිංගිකයට විරුද්ධයි. නිහතමානී මිනිස්සු කවදාවත් ලිංගිකයට විරුද්ධ නැහැ. එහෙත් කවුද නිහතමානී අයට සවන් දෙන්නේ? ඇත්තෙන්ම නිහතමානී අය දේශන පවත්වන්නේ නෑ. අහංකාර අය තමයි කටමැත දොඩවන්න සමත්. ලිංගිකයයි අහංකාර බවයි අතර ගැටුමක් පවතින්නේ ඇයි? අනෙකා ඔබට වඩා වැදගත් බවට පත්වන අතර අහංකාර වෙන්න බැරි නිසා ඔබේ ජීවිතය තුළ තිබෙන දෙයක් ලිංගිකය. ඔබේ ස්ත්රිය ඔබේ පුරුෂයා ඔබට වඩා වැදගත්කමක් හිමිකර ගන්නවා. අනෙක් හැම කාර්යයකදීම ඔබයි ඉතාම වැදගත් තැනැත්තා වෙන්නේ.
ආදර සබඳතාවකදී අනෙක් පුද්ගලයා ඉතාම වැදගත්, අතිශයින්ම වැදගත් පුද්ගලයා බවට පත්වෙනවා. ඔබ චන්ද්රිකාවක් බවට පත් වෙනවා. අනෙකා න්යෂ්ටිය නැතිනම් කේන්ද්රය බවට පත්වෙනවා. අනෙකාට තමා චන්ද්රිකාවක් වෙද්දී ඔබ න්යෂ්ටිය වෙනවා. එය අෙන්යාන්ය යටහත් වීමක්. දෙදෙනාම ආදරයේ දෙවියන්ට යටහත් පහත් වන අතර දෙදෙනාම නිහතමානී වෙනවා.
ඔබට පාලනය කරගන්නට බැරි යමක් තිබෙන බව ඔබට අඟවන එකම ශක්තිය ලිංගිකයයි. කාමයයි. මුදල්, දේශපාලනය, ඔබට පාලනය කරන්න පුළුවන්. වෙළෙඳපොළ දැනුම, විද්යාව, ආචාරධර්ම යනාදී සියල්ලම ඔබට පාලනය කරගන්න පුළුවන්.
කොහොමටවත් ඔබට පාලනයක් කරගන්න බැරි සම්පුර්ණයෙන් වෙනස් ලෝකයක් ලිංගිකය ගෙන එනවා. අහංකාරකම තමයි විශාලතම පාලකයා. එය තමන්ට ලිංගිකය පාලනය කිරීමට හැකි වීම ගැන සතුටුයි තමන්ට එය පාලනය කර ගන්න බැරි නම් නොසතුටුයි මෙන්න මෙතැනදී ලිංගික යයි අහංකාර බවයි අතර ප්රතිවිරෝධයක් හට ගන්නවා. මතක තබා ගන්න එය පරදින සටනක්, අහංකාරකමට ජය ගන්න බැරි මොකද? ඒක හරිම ව්යාජයක්, ලිංගිකය ගැඹුරු මුල් සහිත දෙයක්. ලිංගිකය ඔබේ ජීවිතයයි. අහංකාරය මමත්වය ඔබේ සිතේ දෙයක්. ලිංගිකය ඔබ පුරාම මුල් සහිතයි. මමත්වයට මුල් තියෙන්නේ ඔබේ අදහස්වල පමණයි.... ඒක හරිම අතිශෝක්තියක් ඔළුවේ තියෙන.
ඉතින් ලිංගිකය ඉක්මවා යන්න කවුද උත්සාහ ගන්නේ. ඔළුවයි. කාමය ඉක්මවා යන්න උත්සාහ දරන්නේ. ඔබේ ඔළුවේ තිබෙන ප්රමාණය ඕනෑවටත් වැඩි නම්, අන්න එවිට ඔබට ලිංගිකය ඉක්මවා යන්න ඕනේ. මොකද ලිංගිකය ඔබව පියවි ලොවට ගෙන එනවා. ලිංගිකය ඔබට ඔළුවෙන් එල්ලී සිටින්නට ඉඩ දෙන්නේ නෑ. අනෙක් සියල්ල ඔබට එහෙම ඉඳගෙන කළමනාකරණය කරන්න පුළුවන්. නමුත් කාමය එහෙම ඉඳගෙන පාලනය කරන්න බැහැ. ඔළුවෙන් ඔබට රමණයේ යෙදෙන්න බෑ. ඔබට ඒ සඳහා බිමට බහින්න සිදු වෙනවා. ඔබට පෘතුවියට සමීප වෙන්න උස් තැනින් පහළට එන්න සිදු වෙනවා. ලිංගිකය අහංකාරකමට මමත්වයට නින්දා පමුණුවනවා.

ඒ නිසා අහංකාර මිනිස්සු කාමයට, ලිංගිකයට විරුද්ධයි. ඔවුන් එය ඉක්මවා මග හැර යන්න සියලු ක්රම හා විධි සොයනවා. ඔවුන්ට කවමදාකවත් එය ඉක්මවා යන්න බෑ. ඔවුන්ට පුළුවන් උපරිම වශයෙන් නරුමයෝ වෙන්න. ඔවුන්ගේ උත්සාහය මුල සිටම විනාශය කරා යන අසාර්ථකත්වයක්.
කිසිම විටක ලිංගිකය ඉක්මවා යන්න මොනම හෝ උත්සාහයක්වත් දරන්න එපා යෑයි මං ඔබට යෝජනා කරන්නෙ නෑ. මං ඔබට යෝජනා කරන්නේ ඊට ප්රතිවිරුද්ධ දෙයක්. ලිංගිකය ඉක්මවා යැම යන අදහස අමතක කරන්න. ඔබට හැකිතරම් ගැඹුරින් ඊට ඇතුළු වන්න. ඔබගේ ශක්තිය තිබියදී හැකි තරම් ගැඹුරින් ප්රේම කරන්න, එය නිකම් ම කරන්නක් නොවේ.
ලිංගිකය කලාවක් බවට පත් කරන්න. තන්ත්රවල මුළු අර්ථයම එයයි. ප්රේම කිරීම කලාවක් බවට පත්කිරීම විශාල සෞන්දර්යාත්මක වැටහීමක් ඇති අය පමණක් ඇතුළත් වන ඉතාම සියුම් වෙනස්කම් තිබෙනවා. එහෙම නැතිව මුළු ජීවිත කාලයම රමණයේ යෙදෙන්න ඔබට පුළුවන්. එහෙම වුණත් තෘප්තියක් නොලබන්නත් පුළුවන්. මොකද ඔබ දන්නේ නෑ තෘප්තිය කියන්නේ ඉතාම සෞන්දර්යාත්මක දෙයක්. එය හරියට ඔබගේ ආත්මයෙන් සියුම් සංගීතයක්, නැගෙනවා වගේ. ලිංගිකයෙක් ඔබ සන්සුන් වෙනවා නම්, එමගින් ඔබ සැහැල්ලු බවට පත්වනවා නම් ඔබට ආතතියක් නෑ.
ආදරය කියන්නේ නිකම් ම ඉවත දමන ශක්තියක් නොවෙයි. මොකද ඔබ දන්නේ නෑ ආදරය සමග කරන්නේ මොනවාද කියලා. එය නිකම්ම සහනයක් නොවෙයි. විවේකයෙන් යුත් සැහැල්ලුවීමක්. මොහොතකට දෙකකට හෝ තත්ත්පර කීපයකට හෝ ඔබට හැකි නම් ඔබේ ස්ත්රිය වෙතට සැහැල්ලු වෙන්න. ස්ත්රියට හැකි නම් පුරුෂයා වෙතට සැහැල්ලු වෙන්න ඔබ කවරෙක්ද යන්න
ඔබට අමතක වේවි. ඔබේ ගැහැනියට ඔබේ කැඩපත වෙන්න ඉඩ දෙන්න. ඔබේ පුරුෂයාට ඔබේ කැඩපත වෙන්න ඉඩ දෙන්න. ඇගේ නෙත් තුළට එබී බලා ඔබේ මුහුණ දකින්න. ඇය තුළට යන්න ඔබ ගැන දැනගන්න. එවිට එක් දිනක දී ඔබට කැඩපත අවශ්ය වන්නේ නැහැ. නමුත් ඔබ කැඩපතට විරුද්ධ වෙන්නෙ නෑ. ඔබ ඊට බෙහෙවින් කෘතඥ වේවි.... ඔබ කොහොමද ඊට විරුද්ධ වන්නේ?
- OSHO

0 comments:
Post a Comment