දැරියක මල්වරවීමෙන් පසු ඇතිවන ඊළඟ ශාරීරික සිද්ධිදාමය වන්නේ ආර්තවයයි. මේ සම්බන්ධව කාන්තාවක් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ එම ක්රියාවලිය දරුවන් හට ගැනීමට ප්රධාන ලෙස බලපෑම් කිරීම නිසාත් එහි ඇතිවන අක්රමවත් බව ඇයට පීඩාවක් ගෙන දෙන නිසාත්ය.මේ නිසා ලිංගික අධ්යාපනික ලිපි පෙළ යටතේ ආර්තවය සහ එහිදී ඇතිවන ගැටලුත් ආර්තවහරණයත් ඉන් පසු කාන්තාව මුහුණ දෙන තත්ත්ව පිළිබඳවත් මෙතැන් සිට සාකච්ඡා කිරීමට අප අදහස් කළා.
ආර්තවය සහ එහිදී ඇතිවන තත්ත්ව පිළිබඳව ප්රජා වෛද්ය විද්යාව පිළිබඳ විශේෂඥ වෛද්ය ආරියසේන යූ. ගමගේ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
මල්වර වීමත් සමඟ ආරම්භ වන ඩිම්බ පිටවීම ආර්තවහරණයෙන් අවසන් වෙනවා. ආර්තවය දින 28 කට වරක් සිදුවන බව සාමාන්ය පිළිගැනීමයි. මේ තත්ත්වය දින 21 සිට දින 35 දක්වා වෙනස්විය හැකියි. ආර්තවයේදී ඇතිවන රුධිර ගලනය දින 02 සිට දින 07 දක්වා පැවතිය හැකියි.
ආර්තවයේදී, ගර්භාෂයෙන් ආරම්භ කෙරෙන රුධිර ගලනය යෝනි මාර්ගය හරහා පිටතට මුදා හැරෙනවා.
මේ ක්රියාවලිය මාසයකට වරක් සිදුවන බැවින් මේ සඳහා මාසික ආර්තවය, මාසික ඔසප් වීම, මාස් සුද්ධිය සහ මාසය මාරුවීම ලෙසද හැඳින්වෙනවා.
ඔසප් වීමේදී රුධිරය පිටවීම සිදුවන නිසා මේ තත්ත්වය මාසික ලෙඩ වීම ලෙස හඳුන්වන කාන්තාවන්ද අප සමාජයේ දක්නට ලැබෙනවා. ඔසප් වීමේදී ශරීරය තුළ ඇති අපද්රව්ය රුධිරය ලෙස පිටවන නිසා ඇඟ ශුද්ධවීම ලෙසද මේ තත්ත්වය හඳුන්වනවා.

පැහැදිලි හේතුවක් නොමැතිව ආර්තවය පමා වූවහොත් අපිරිසුදු රුධිරය ශරීරය ඇතුලේ එකතු වීමෙන් ශරීරය ලෙඩ වෙනවා යැයි ද මතයක් පවතිනවා. කෙසේ වුවත් මේ මතයන්වල කිසිදු සත්යතාවක් ඇත්තේ නැහැ.
ඔසප් වීම සිදුවන විට එම කාන්තාවට වෙනත් රෝගී තත්ත්වයක් නොපවතී නම් පිටවන රුධිරයේ කිසිදු විෂබීජයක්, අපිරිසුදු බවක් හෝ කිල්ලක් ඇත්තේ නැහැ. ගර්භාෂයේ කැඩීගිය පටක, යෝනි ශ්රාවයන්, සෛල සහ රුධිරය ද මිශ්රව ඔසප් වීමේදී පිටවන රුධිරය මි.ලි. 30 ක් වෙනවා.
ඔසප් වීම කාන්තාවකගේ සෞඛ්ය සම්පන්න බව කියාපාන ලක්ෂණයක් වෙනවා. ගර්භණී සමය, දරුවාට කිරි දෙන කාලය, ඩිපෝප්රොවේරා නැමැති පවුල් සැලසුම් ක්රමය භාවිතා කරන කාලයේදී හැරුණු විට ප්රජනක වයසේ සිටින සෞඛ්ය සම්පන්න සෑම කාන්තාවටම මසකට වරක් ඔසප් වීම සිදුවිය යුතුයි.
දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා කාන්තාවකගේ ගර්භාෂය සෑම මසකට වරක්ම සූදානම් වෙනවා. මෙහිදී යුක්තානුව ගර්භාෂයට පැමිණි පසු එය පෝෂණය කිරීමට හැකිවන පරිදි ගර්භාෂ බිත්තිය ඝනකමින් වැඩි වී වර්ධනය වී ග්ලයිකොජන් නැමැති ආහාරයෙන්ද පෝෂණය වෙනවා. මේ ක්රියාවලිය සඳහා ඩිම්බ කෝෂවලින් නිපදවෙන හෝමෝන වැදගත් වෙනවා. මෙම හෝමෝන පාලනය කෙරෙන්නේ මොළය පතුලේ පිහිටි හයිපොතැලමසින් සහ පිටියුටරි ග්රන්ථියෙන් නිපදවන හෝමෝන කාණ්ඩයක් මඟිනුයි.
මෙම හෝමෝන උපතේ සිට යෞවනත්වය දක්වාම යටපත් වී තිබී මල්වර වියේදී ක්රියාකාරී වෙනවා. මේ ක්රියාකාරීවීමත් සමඟ ගර්භාෂය තුළ ගර්භණීතාවක් ඇති කර ගැනීම සඳහා මසකට වරක් ගර්භාෂය සූදානම් වෙනවා. කෙසේ වූවත් පිළිසිඳ ගැනීමක් හට නොගත් විට ඩිම්බ කෝෂවල හටගන්නා ඊස්ට්රජන් සහ ප්රොජෙස්ටරෝන් හෝමෝන අඩුවීමෙන් ඔසප්වීම හටගන්නවා. ඔසප් වීමත් සමඟ නව දරු ගැබක් සඳහා නැවත ගර්භාෂය සූදානම් වෙනවා. එමෙන්ම ගර්භණී වීමත් සමඟ ඩිම්බ කෝෂයෙන් සහ වැදෑමහෙන් නිපදවන ප්රොජෙස්ටරෝන් හෝමෝනයේ බලපෑම නිසා ආර්තවය සිදුවන්නේ නැහැ.
දරු ප්රසූතියෙන් පසු මවු කිරිදීම ආරම්භ කිරීමත් සමඟ සමහර මවුවරුන්ට මාස හයක් පමණ යනතුරු ආර්තවය ඇති නොවන්නේ ඩිම්බ කෝෂවලින් ඩිම්බ පිට නොවීම නිසයි.
සමහර කාන්තාවන්ට ආර්තවයට පෙර දිනවලදී සුදු පැහැති ගඳක් නොමැති ස්රාවයක් පිටවීම සිදුවෙනවා. මෙය සාමාන්ය තත්ත්වයක්. ගර්භාෂයේ ගෙලෙන් හට ගන්නා ශ්රාවයන් අවර්ණය එමෙන්ම යෝනි මාර්ගයේ හට ගන්නා ශ්රාවයන් ලා කිරි පැහැයෙන් පවතිනවා. මෙවැනි ශ්රාවයන් පිටවීම සාමාන්ය තත්ත්වයක්. කෙසේ වුවත් එවැනි ශ්රාවයන්වල යම් දුඟදක් හමන්නේ නම් හෝ එම ස්රාවය කහ, රතු, දුඹුරු වැනි වර්ණයකින් යුක්ත වේ නම් එය රෝගී තත්ත්වයක් නිසා විය හැකියි.
ආර්තව වේදනාව පිළිබඳ ලබන සතියේ
(arogya)

0 comments:
Post a Comment