මුලදියි අගදියි periods අක්‍රමවත් වීම ලෙඩක් නෙමෙයි

 කාන්තාවන් බොහෝදෙනෙකු පීඩාවට පත් කරවන සාධකයක් ලෙස අක්‍රමවත් ආර්තවය හැඳින්විය හැකියි. අක්‍රමවත් ආර්තවයට හේතු රැසක් බලපාන අතර ඉන් සමහරක් දරුණු රෝගී තත්ත්වයන් නිසාද විය හැකියි.
කෙසේ වුවත් අක්‍රමවත් ආර්තවය දිගින් දිගටම පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ද යොමුවීම වැදගත් වෙනවා.
මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා පැවසුවේ මෙවැන්නක්.
නිවැරදි රටාවෙන් බැහැරව ඔසප් වීම අක්‍රමවත් ආර්තවයයි.
මල්වර වූ අවධියේදී මෙන්ම ආර්තවය නතර වීමට ආසන්න කාලය (අවුරුදු 45- 55) වන විටත් ඔසප් වීම අක්‍රමවත් වීම සාමාන්‍ය තත්ත්වයක්. මේ කාලය තුළ සිදුවන වෙනස්වීම රෝගී තත්ත්වයක් නොවෙයි.
ශරීරය තුළ ක්‍රියාත්මක වන ලිංගික හෝමෝනවල අක්‍රමිකතාවන් නිසා ආර්තව ගැටලු ඇතිවිය හැකියි. පවුල් සංවිධාන ගිලින පෙති නිසියාකාරව භාවිතා නොකිරීම නිසාද ආර්තවය අක්‍රමවත් වෙනවා.
ඩිපෝප්‍රොවේරා නැමැති තුන් මසකට වරක් විදින පවුල් සැලසුම් නික්ෂේපණය නිසාද ආර්තවය අක්‍රමවත් වෙනවා. මෙහිදී තමන් නොදැනුවත්වම සුළු වශයෙන් රුධිර ගලනයක් ඇතිවිය හැකියි.
පවුල් සැලසුම් ක්‍රමයක් වන ලූපය නිසාද අක්‍රමවත් ආර්තවයක් ඇති වෙනවා. මෙවැනි අවස්ථා රෝගී අවස්ථා ලෙස සලකන්නේ නැහැ. කෙසේ වුවත් දිගින් දිගටම ආර්තවය අක්‍රමවත් නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. එහිදී සුදුසු පවුල් සැලසුම් ක්‍රමයක් වෛද්‍යවරයා නිර්දේශ කරනවා.
ආර්තවයේදී අධික රුධිරය වහනය මෙනොරේජියා (Menorrhagia) රෝගී තත්ත්වය නිසා විය හැකියි. එහිදී කාන්තාවගේ ශරීරයේ ඇති ප්‍රධාන ලිංගික හෝමෝන වර්ග දෙක වන ඊස්ට්‍රජන් සහ පොජෙස්ටරෝන් නිෂ්පාදනයේ ඇති ගැටලුකාරී බව නිසා ගර්භාෂ අභ්‍යන්තර බිත්තියේ ඝනකම වැඩි වී ආර්තවයේදී එය කැඩී බිඳී යාම නිසා රුධිරය වැඩි වීම සිදු වෙනවා.
ගර්භාෂයේ ඇතිවන ෆයිබ්රොයිඩ් (Fbroids) සහ පොලප් (Polyps) නිසාද ආර්තවයේදී රුධිර වහනය වැඩිවිය හැකියි. එමෙන්ම තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයක් වන ලූප භාවිතය නිසාද රුධිර ගලනය වැඩිවිය හැකියි.
මෙහිදී ලබාදෙන ප්‍රතිකාර අධික රුධිර ගලනයට හේතු වූ කරුණු මත වෙනස් වෙනවා. ගර්භාෂයේ ඇති වූ ගෙඩි වැනි තත්ත්වලදි සැත්කම් පවා කිරීමට සිදු වෙනවා.
විශේෂයෙන් ඇය අධික රුධිර ගලනය නිසා රක්තහීනතාවයට පත්ව ඇත්නම් රුධිරය ලබා දීමද කළ යුතුයි.
ලිංගික සංසර්ගයෙන් පසුව යෝනි මාර්ගයෙන් රුධිරය ගලන්නේ නම් එය ගර්භාෂ ගෙලේ තුවාලයක් (Cervical Erosion) හෝ මස් වැදැල්ලක් නිසා විය හැකියි.
ආර්තවහරණයෙන් මාස හයකට පසු යෝනි මාර්ගයෙන් රුධිර ගලනයක් වන්නේ නම් එය ගර්භාෂයේ හෝ ගර්භාෂ ගෙලේ පිළිකාවක් නිසා විය හැකියි. එමෙන්ම ආර්තවහරණයෙන් පසු යෝනි මාර්ගය වියළී යාම නිසාද සුළු රුධිර ගලනයක් වෙනවා. මේ තත්ත්වය හඳුනාගැනීම සඳහා වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.
කාන්තාවන්ගේ කායික රෝගී තත්ත්වය සහ මන්ද පෝෂණය මෙන්ම මානසික ආතති තත්ත්ව නිසාද ආර්තවය අක්‍රමවත් වීම වෙනවා. විශේෂයෙන් කාන්තාවන් විදෙස් ගත වීමේදී ඇතිවන මානසික ආතතිය නිසා විදෙස්ගත වූ කාන්තාවන් කෙරෙන් මේ තත්ත්වය වඩාත් දැකිය හැකියි.
මල්වර වීමෙන් පසු ආර්තවය මාස තුනකට වඩා පමා වුවහොත් ඒ සඳහා වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. මේ තත්ත්වය ද්විතීක අනාර්තවය (Secondary Amenorrhoea) ලෙස හැඳින්වේ.
කාන්තාවන් ගර්භණී වීම සමඟ ආර්තවය නවතිනවා. එසේම මවුකිරි දෙන මාස 06ක පමණ කාලයක් ආර්තවය සිදු නොවීමට පුළුවන. කෙසේ වුවත් දරු ප්‍රසූතියෙන් මාස එක හමාරක් ගත වූ පසු ලිංගික සංසර්ගයක් සිදු වුවහොත් ඇය නැවත ගර්භණී වීමේ ඉඩකඩ පවතිනවා.
අධික ලෙස සිරුර මෙහෙයවා වැඩ කරන කාන්තාවන්, ක්‍රීඩිකාවන්, නැටුම් ශිල්පිනියන්ගේ ද ආර්තවය කලක් පමාවිය හැකියි. විශේෂයෙන් මානසික රෝග සඳහා භාවිතා කරන ඖෂධ නිසාද ආර්තවය ප්‍රමාද වෙනවා.
අක්‍රමවත් ආර්තවය යනු කුමක්ද?
ආර්තවයේදී පිටවන රුධිර ප්‍රමාණය ආර්තවයෙන් ආර්තවයට වෙනස් වීම. වරෙක සුළු රුධිරය ප්‍රමාණයක්ද තව වරෙක කැටි සහිත වැඩි රුධිර ප්‍රමාණයක් ද පිටවීම.
එක් ආර්තවයකදී රුධිර ගලනය දින එකක් ද ඊළඟ ආර්තවයේදී රුධිර ගලනය දින 10 ක්ද පැවතීම. ආර්තව දෙකක් අතර කාල පරාසය වෙනස්වීම. වරෙක මාස කිහිපයක් පමා වීම, තව වරෙක සති කිහිපයකට වරක් සිදුවීම.

දුමින්ද සම්පත්
(arogya)

0 comments:

Post a Comment