ආර්තව සමයේදී බොහෝ කාන්තාවන් අපහසුතාවයකට පත්වන්නේ ඒ පිළිබඳ නිසි දැනුමක් නොමැති කම නිසයි. ආර්තවය යනු නිරෝගී ඕනෑම කාන්තාවක් මුහුණදෙන සාමාන්‍ය සංසිද්ධියකි. එහිදී ඇතිවන වේදනාවන් පිළිබඳව නිසි අවබෝධයකින් සිටීමෙන් ආර්තව වේදනාව දුරුකර ගැනීමේ හැකියාව පවතී. මේ පිළිබඳව ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතාඅදහස් දැක්වූයේ මෙසේයි.
කාන්තාවන් අතර බහුලවම දැකිය හැකි ආර්තව වේදනාව ඩිස්මෙනොරියා (Dysmenorrhoea) ලෙස හඳුන්වනවා. කාන්තා රෝග අතරින් ආර්තව වේදනාව (Period Pain) පිළිබඳව වැඩිපුරම කථාවන්නේ කාන්තාවන් නිරන්තරවම පීඩාවට පත් කරවන නිසයි.
ආර්තව වේදනාව ප්‍රාථමික ආර්තවවේදනාව සහ ද්වීතියික ආර්තව වේදනාව ලෙස වර්ග කෙරෙනවා.
ප්‍රථමික ආර්තව වේදනාව
දැරියක මල්වර වී අවුරුදු දෙක තුනක් ගත වූ පසු (අවුරුදු 17 - 25) මේ වේදනා තත්ත්වයට මුහුණ පානවා. මේ තත්ත්වයට මූලික වන හේතුවක් නිශ්චිතව කිව නොහැකියි. කෙසේ වුවත් කාන්තාවක් විවාහ වි දරුවන් ලැබීමෙන් පසු ආර්තව වේදනාව ක්‍රමයෙන් අඩුවන බවක් පෙන්නුම් කරනවා.

ද්වීතියික ආර්ථව වේදනාව
වැඩිහිටි කාන්තාවන් හට ඇතිවන මෙම වේදනා තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපෑම් කරන රෝගී තත්ත්ව කීපයක් හඳුනාගැනීමේ හැකියාව පවතිනවා. ශ්‍රෝණි ප්‍රදේශයේ පවතින ආසාදන (Pelvic Inflammatory Disease) එන්ඩොමෙට්ට්රියෝසිස් (Endometriosis) හෝ ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි (Fibroid) මේ සඳහා බෙහෙවින් හේතු වෙනවා.
ආර්තව වේදනාව ඇති කරන්නේ ප්රොස්ටග්ලැන්ඩින්ස් (Prostaglandins) නම් රසායනික ද්‍රව්‍යයක් හේතුවෙනුයි. මේ රසායනිකය නිසා ගර්භාෂ බිත්තියේ ඇති පේශීන් අධික ලෙස සංකෝචනය වෙනවා. මේ හේතුවෙන් රුධිර වාහිනී තදින් ඇඹරීයාමක් සිදු වෙනවා. මේ ඇඹරීමත් සමඟ රුධිර වාහිනී මඟින් අවට පටකවලට සැපයූ ඔක්සිජන් අඩු කෙරෙනවා. ඔක්සිජන් අඩුවීම නිසා ඇතිවෙන තත්ත්වයක් ලෙස වේදනාව හට ගැනෙනවා. ආර්තව වේදනාව ලෙස අපට දැනෙන්නේ මේ තත්ත්වයයි.
ආර්තවයත් සමඟ උදරයේ පහත ප්‍රදේශයේ හටගන්නා වේදනාවට අමතරව සමහර කාන්තාවන්ට කොන්දේ කැක්කුම, පියයුරු වේදනාව, හන්දිපත් වේදනාව, හිසේ වේදනාව, පාද වේදනාව, ශරීරය පුරා දැවිලි සහගත තත්ත්වය වැනි රෝගී තත්ත්ව පෙන්නුම් කරනවා.
මෙහිදී ප්‍රධාන වශයෙන් වේදනා නාශක ලබා ගැනිම කෙරෙනවා. කෙසේ වුවත් වේදනාව දරා ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වෙනවා. මේ වේදනාව සාමාන්‍ය දෙයක් බව අවබෝධ කර ගැනීම තුළින් ආර්තව වේදනාවට සාර්ථක පිළිතුරක් ලබාගත හැකියි.
හැම කාන්තාවක්ම මෙහිදී තරයේ සිතට ගත යුතු වන්නේ ආර්තවය රෝගයක් නොවන බවයි. මානසිකව ඔබේ සිතුවිලි නිවැරදි කර ගැනීම හරහා ඔබට ආර්තව වේදනාවෙන් මිදීමට හැකියාව ලැබෙනවා.
ආර්තව වේදනාවට ඖෂධ ලෙස ඇස්පී‍්‍රන් (Aspirin) ඉබියුප්‍රොෆෙන් (Ibuprafen) මෙෆනමික් ඇසිඩ් (Mefanamic Acid) පවුලේ ඖෂධ නිර්දේශ කළ හැකියි. නමුත් පැරසිටමෝල් කාණ්ඩයට අයත් ඖෂධ මඟින් ආර්තව වේදනාවට සාර්ථක පිළිතුරක් බලාපොරොත්තු විය නොහැකියි. කෙසේ වුවත් ආර්තව වේදනාව දිගින් දිගටම පවතින්නේ නම් තම හිතුමතයට ඖෂධ භාවිතා නොකොට වෛද්‍යවරයෙකු හමු වී නිසි උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා.
දුමින්ද සම්පත්
(arogya)

0 comments:
Post a Comment