තමන්ට නියමාකාරයෙන් ගැළපෙන සහකරු සොයාගැනීමට සිප ගැනීම් (Kissing) තුළින් කාන්තාවන්ට හැකියාව ලැබෙන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් සොයාගෙන තිබේ.
සිපගැනීමකදී කාන්තාවන් අවිඥානිකව තමන්ට ගැළපෙන පුරුෂයා යටි සිතින් තක්සේරු කර ගැනීමක යෙදෙන බවද එවැනි සිප ගැනීම්වල රසය හෝ සුවඳ මත එකී තක්සේරු කිරීම සිදුවන බවද එම පර්යේෂණයේ ප්රතිඵල මඟින් නිගමනය කර ඇත.
සෞඛ්ය තත්ත්වය හා ජානමය වශයෙන් ගැළපීම පිළිබඳ සිප ගැනීමකදී හුවමාරු වන තොරතුරුද ගැළපෙන සහකරු තෝරා ගැනීම සඳහා වැදගත් වන බව මෙම පර්යේෂකයන් සොයාගෙන තිබේ.
සිප ගැනීමකදී රසය හෝ සුවඳ සමඟ ජානමය ගැළපීම පිළිබඳ අවිඥානිකව පණිවුඩ ලැබෙන්නේ සිප ගැනීම් සමඟ ඇතිවන රසායනික සංඥාවන් සමඟ බවද ඔවුහු පෙන්වා දෙති.
ඉතා පොදු මානව ක්රියාකාරකමක් වන සිප ගැනීමේ අරමුණ පැහැදිලි කරගැනීම මෙම පර්යේෂණය පැවැත්වූ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලයීය පර්යේෂක කණ්ඩායමේ අරමුණ විය.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලයේ මනෝ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ රාෆෙල් ව්ලොඩාර්ස්කිගේ ප්රධානත්වයෙන් යුතුව පර්යේෂණය සිදුකෙරුණු අතර ඊට වැඩිහිටි පුද්ගලයන් 900ක් සහභාගි කරගන්නා ලදී.
ඉන් අඩකට වඩා දැඩි සබඳතාවන් පවත්වාගෙන ගිය අය වූ අතර සිප ගැනීමක් යනු කුමක්දැයි ඔවුන්ගෙන් අසා සිටින ලදී.
පර්යේෂණ ප්රධානී රාෆෙල්ට අනුව මානව ලිංගික සබඳතාවන් සඳහා ප්රසිද්ධියේ සිප ගැනීමට සෑම සමාජයකම හා සංස්කෘතියකම පාහේ විවිධ ආකාරයේ තහංචි පනවා තිබේ.
ලිංගික සබඳතාවකදී කෙරෙන සිප ගැනීම් ගැන ප්රධාන න්යායන් තුනක් වන බවද රාෆෙල් කියයි. සිප ගැනීම තුළින් සංවාසයට සුදුසු සහකරුගේ ප්රවේණි ගුණයන් සම්බන්ධව තක්සේරු කිරීමක් සිදුවේ. එමෙන්ම එය ලිංගික ක්රියාවලියකට උත්තේජනය සපයයි. එමෙන්ම දෙදෙනා අතර තවදුරටත් සබඳතාව පවත්වා ගැනීමටද සිප ගැනීම් හේතු වේ.
මෙම න්යායන් අතරින් සිප ගැනීමේ අරමුණු සමඟ වඩාත් සමීප වන්නේ කුමක්දැයි සෙවීම තම පර්යේෂණයේ අරමුණ වූ බවද රාෆෙල් කියයි.
කෙසේ වුවද ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයන්ට අනුව සබඳතාවකදී පිරිමින්ට වඩා කාන්තාවන්ට සිප ගැනීම් වැදගත් වන බව පර්යේෂණයේදී අනාවරණය වී තිබේ.

0 comments:
Post a Comment